ධර් ම දේශණා
පුණ්‍යානුමෝදනාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
අද නොවැම්බර් මාසෙ තිස් වෙනිදා. බෝලන්කන්ද තපෝ අරණ අපේ ආරණ්‍යයට අද අළුත් දවසක්. මේ දවසේ ආරම්භය සනිටුහන් වුනේ අද දවසේ දාන වේල ආරණ්‍යයට වැඩමවීමත් සමඟයි. ඒ කටයුතු සම්පාදනය කරන්නට වෙහෙස මහන්සි වෙච්ච, ආධාර උපකාර කරපු, පරිත්‍යාගයන් කරපු ඔය ඇත්තො සෑම සියළු දෙනාටම කෘතවේදී වෙනවා පළවෙනියෙන්ම.
දානය කියන වචනය මේ ලෝකයට ඇහෙන්නෙත් පින්වතුනි කාලෙකදි විතරයි. ඒ වචනය තුල තියන පරිසමාප්ත අර්ථය කියල දෙන්නෙත් කාලයකදි විතරයි. ඒ හැම දේකටම හේතුව තමයි ඔය ඇත්තොත් මමත් සරණ ගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමු වීම.
උන් වහන්සේ බොහෝම කාලයක් මහන්සි වෙලා, කැප වෙලා, උත්සාහ කරලා, වෑයම් කරලා හදා ගත්ත, දියුණු කරගත්ත, වැඩිදියුණු කරගත්ත තමන්ගේ ජීවිතය තුල තිබිච්ච ගුණාංගයන් සමුදාය තමා, තමන්වහන්සේගේ ජීවිතය තුල තිබිච්ච ගුණාංගයන් සමුදාය තමා අපිට කියල දෙන්නේ ධර්මය හැටියට. අත්දැකීම් හැටියට. උපදෙස් හැටියට.
ඒ කියල දෙන අත්දැකීම් හෝ උපදෙස් මාලාවන් අපේ ජීවිතේට ඈද ගන්න යනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ඇති වෙන්න ඕන ලක්ෂණ කිහිපයක් තියනවා කියලා. ඒ ලක්ෂණවලින් එකක් තමා අපේ හිත පිනා යන්න ඕන. හිත සංතෝසමත් වෙන්න ඕන.
"හදයං පුනාතීති පුඤ්ඤං"
කියලයි කියන්නේ. පින කියන දේ හිත පිනා යන දෙයක් වෙන්න ඕන. හිත සංතෝසමත් කරන දෙයක් වෙන්න ඕන. මටත් මතකයි භාවනා කරන්න පටන් ගත්ත මුල් කාලේ සමහර කාරණා මගේ හිතේ රැව් දුන්නා. මං කරපු වැරදි, මගේ අතින් සිද්ධ වෙච්ච අඩුපාඩුකම්. සමහරක් විට මහා ලොකු දේවල් නෙවෙයි. හැබැයි හිත ඒ දේවල්ම පෙන්නලා දෙන්න උත්සාහ කරපු කාලයක් තිබ්බා.
හැබැයි පිනක ස්වභාවය, හද පිනා යනවා කියන වචනය ඇහුනට පස්සේ, මමත් කල්පනා කරා එහෙම නම් මම කරපු පින් මතක් කලොත් එහෙම මට මේ තියන සිත් තැවුල් වලින් මම නිදහස් වෙන්න ඕන නේද කියලා.
ඇත්තටම ඒක එහෙමම තමයි. යම් වෙලාවකදි මට භාවනා කරද්දි හිතට පීඩාවක් කරදරයක් ආවා නම් භාවනාවෙ මුල්ම කාලෙදී මං කරපු කුඩා හෝ පිනක් මම මතක් කලා. අඩුම තරමේ වතුර බෝතලේ හිටපු කූඹියෙක්ව පොඩි ලී කෑල්ලකින් ගොඩ දැම්ම නම් එහෙම, ඒකක් හරි මෙනෙහි කලා. සිහිපත් කලා. හැබැයි එතකොට හිතට ආපු සහනය සහ නිදහස අර කාලාන්තරයක් තිස්සේ හිත සෘණාත්මක හැටියටම කියල දුන්න කල්පනාවන් වලින් බොහොම බැහැර දෙයක් වුනා. මේක අළුත්ම අත්දැකීමක් වුනා මට මගේ පැත්තෙන්.
ඉතින් ඔය කතාව, ඔය කාරණාව කේන්ද්‍රගත කරගෙන දේශනාවල් කියවනකොට එක තැනක මෙන්න මෙහෙම තිබ්බා. විශාඛාව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා, වන්දනා කරලා, එතුමිය කියා හිටිනවලු,
"බුදුරජාණන් වහන්ස මම අම්ම කෙනෙක්. මට හැමදාම දන් දෙන්න බෑ. මට දන් දෙන්න පුළුවන් කාලෙකට විතරයි. නමුත් මේ තියන ශක්ති ප්‍රමාණයෙන් මම හැමදාම දන් දෙන්න සලස්වනව. අපේ ගෙදර නිරන්තරයෙන්ම ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා පිණ්ඩපාතෙට. මම ඒකට කට්ටිය සූදානම් කරල තියෙන්නෙ. හැබැයි මට හැමදාම සම්බන්ධ වෙන්න බෑ. සම්බන්ධ වෙන දවසක් තිබ්බොත් එදාට මම තමයි සම්පූර්ණ ඒ කටයුතුවල මූලිකත්වය ගන්නෙ. ඒ දේවල් සැලසුම් කරන්නේ, සකස් කරන්නේ, පූජ කරන්නේ ආදී ඔක්කොම මමමයි ගොඩක් වෙලාවට හැම දේකටම මැදිහත් වෙන්නේ. මූලිකත්වය ගන්නේ.
ඒ වගේමයි එදාට මම දානය දීලා කරන විශේෂ දෙයක් තියනවා. ඒ දානෙ දුන්න දවසටත් අනිත් දවස්වල වගේම වන්දනා කරලා භාවනා කරනකොට, ඒ දවසට කරන විශේෂ භාවනාව තමයි මම දුන්න දානය දෙන්න සූදානම් වෙච්ච විදිහ, සැලසුම් කරපු විදිහ, මහන්සි වෙච්ච විදිහ, ආපස්සට මතක් කරනව. ආයෙත් ආයෙත් සිහිපත් කරනව."
විශාඛාවෝ කියනවා බුදුරජාණන් වහන්සේට පින්වතුනි,
"බුදුරජාණන් වහන්ස, හරිම ආශ්චර්යයයි, මම මං කරපු පින මතක් කරනකොට, ඒ පින කරන්න මං ආපස්සට මතක් කරනකොට මගේ ඇඟේ වේදනාවක් තිබ්බා නම්, කායික දුකක් තිබ්බා නම්, ඒ කායික දුකෙන් මම නිදහස් වෙනව. චෛතසික දුකක් තිබ්බා නම් ඒ චෛතසික දුකෙනුත් මම නිදහස් වෙනව. කය පිනා ගිහිල්ල කය මෘදු සැහැල්ලු වුනාට පස්සෙ සිතත් සැහැල්ලු වුනා. ඒ සැහැල්ලු හිත පුදුමාකාර සහනයක් සතුටක් ගෙනැල්ල දුන්නා. ඒ සතුටුදායක හිත මාව සමාධියකට එක්කං ගියා"
කියල කියනව. මේක අහගෙන හිටපු බුදුරජාණන් වහන්සේ සාදු නාදයක් දීලා ඊළඟට දේශනා කරනවා,
"සමාහිතේ චිත්තේ ධම්මා පාතුභවන්ති" කියල.
"විශාඛාවුනි, සමාහිතක් තියන කෙනෙකුගෙ හිතකට යථා ධර්මය තේරෙන්න පටන් ගන්නව" කියල.
පින්වතුනි මම කියන්න යන්නේ, ඔය ඇත්තොත් දුර බැහැරක ඉඳල හරි කමක් නැහැ, ළඟ පාතක ඉඳල හරි කමක් නැහැ, මේ කරන පින් කටයුතු විශාඛාව එදා කරපු පින් කටයුතු වගේමයි. ඒ හා ම සමානයි. ඔය දේ කරන්නට ඔය ඇත්තො මහන්සි වෙච්ච විදිහ, ඒ මතකය ඔය ඇත්තො ගාව ඇති.
පිනක් කරනවා කියන අදහසෙන්මයි, නැතිනම් ඔය ඇත්තො මේ කටයුත්ත කරන්න හිතේ තිබිච්ච යටගියාව, හිතේ තිබිච්ච අදහස ඔය ඇත්තො දන්නව හොඳටම. ඒ තිබිච්ච කුසල සිතුවිල්ල ආපහු මෙනෙහි කරන්න ඕන. ඒ දේ මෙනෙහි කරලා තමන්ගේ ජීවිතේ මොහොතකට හරි සැනසීමක් ලබා ගන්න ඕන.
මොකද ඔය ඇත්තො ඔය කරන පරිත්‍යාගය හින්දා තමා අපේ ජීවිතය ආරක්ෂා වෙන්නේ ලෙඩන් දුකෙන්, සහ ජීවිතය රැකෙන්නේ. අපිට ලැබෙන සහනය වගේ අනන්ත අප්‍රමාණ විදියේ සහනයක් ඔය ඇත්තන්ට ලැබෙන්න ඕන.
අද දවසේදී දානය සකස් කරන, පූජ කරන ඒ ඇත්තො සෑම සියළු දෙනාටම වගේම මේ කටයුත්තට සහසම්බන්ධ වෙච්ච, අනේ හොඳයි කියල එකතු වෙච්ච ඒ සෑම සියළු දෙනාටමත් ඔය ඇත්තන්ගෙ නමෙන් මිය පරලොව ගිය සෑම සියළු දෙනාටමත් මේ පින් ඒකාකාර වශයෙන්ම අනුමෝදන් වෙන්න ඕන.
අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ සිත්සතන් නිවී සැනසෙන්න ඕන. අමා නිවනින් සැනසීමක් ලබා ගන්නට මේ පිනත් හේතු වාසනා වෙන්න ඕන. ඔය ඇත්තො සෑම සියළු දෙනාටම තෙරුවන් සරණයි !
මේ පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ පස්යාල බෝලන්කන්ද තපෝ අරණේ ඉඳලා.
2023.11.30
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 02
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"මනෝපුබ්බංගමා ධම්මා
මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති
ඡායා’ව අනපායිනී"
ශ්රද්ධාවන්ත පින්වතුනි, අද 2023 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ පළමුවෙනිදා. සුපුරුදු පරිදි හතයි තිහේ කනිසම වගේ වෙනකොට ආරණ්‍යයට දානෙ වේල පැමිණුනා. ඒ කටයුතු සිදු කරන්නට අද දවසේදී දායකත්වය දරපු ඔය ඇත්තන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. ඒ වගේම මේ කටයුත්තට සහසම්බන්ධ වෙන, සූදානම් කරන, සැලසුම් කරන, ඒ සෑම සියළු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙන්න ඕන.
අපේ ජීවිතේ පින්වතුනි හරි පුදුමාකාරයි. බලාපොරොත්තු වෙන දේවල් වලට වඩා ළඟා වෙන දේවල් හරිම වෙනස්.
එක්තරා පවුලක දරුවෙක් හිටියා. ඒ පවුල බොහොම ධනවත් පවුලක්. හැබැයි ඒ දරුවගේ දෙමව්පියෝ ටිකක් ලෝබයි. ටිකක් නෙවෙයි ගොඩක්ම ලෝබයි. කාලයක් යනකොට මේ ළමයට අසනීපයක් හැදෙනවා. මේ ළමයගේ දෙමව්පියන්ගේ, වැඩිහිටියන්ගේ තියන ලෝබකම කොච්චරද කියන්නේ මේ ළමයට බෙහෙත් කරන එක වෙනුවට, වෛද්‍යවරු හොයාගෙන ගිහිල්ල මොනවද කරන්න පුළුවන් බෙහෙත් කියල අහගෙන ඇවිල්ල, ඒ ළමයට බෙහෙත් කරන්න පටන් ගන්නව. මොකද වෛද්‍යවරු එක්කං ආවොත් එහෙම වැඩිපුර ගෙවන්න වෙයි හරි තව මොනව හරි කාරණාවල් හින්ද.
ඒ වෛද්‍යවරුත් සමහරක් වෙලාවට හරියට බෙහෙත කිවුව වෙන්න පුළුවන් නැතා වෙන්නත් පුළුවන් කොහොම කොහොම හරි කමක් නෑ දරුවට අසනීපය වැඩි වුනා. අවසානෙදි දරුව මරණාසන්නයට පත් වුනා. මෙහෙම වුනාට පස්සෙ අර දෙමව්පියො මොනවද කලේ මේ දරුවව දානවා පොඩි කාමරේකට පිළිකන්නෙ තියන. ඒක නිකං අඟුපිලක් වාගේ තැනක්.
මේ වගේ සිද්ධියක් ඔබටත් මටත් වුනා නම්? අවාසනාවකට මේ වගේ සිද්ධියකට මුහුණ දුන්න කෙනෙක් මේ ලෝකෙ ඉඳල තියනවා. නමුත් ඔබටත් මටත් මේ වගේ සිද්ධියක් වුනා නම් අපිට එන සිතුවිලි කොහොම වෙන්න පුළුවන්ද? අපිට එන හැඟීම් මොනව වෙන්න පුළුවන්ද?
මේ ලෝකෙ ලබා ගන්න පුළුවන් හැම එකක්ම ලබා ගන්න පුළුවන් වෙන තරමේ වටපිටාවක් තිබිලත් ඒ දේවල් අත්පත් කරගන්න තරම් හැකියාවක් නැති වුනාම, ඒ දේවල් ළඟා කරගන්නට තියන ඉඩ අහුරපු අයට හෝ එය අහුරපු අය ගැන මොන විදිහේ අදහස් නම් අපිට මතු වෙයිද? ගලාගෙන එයිද? සංකල්පනා ඇති වෙයිද? ක්‍රියාත්මක කරන්න බැරි වුනාට.
මට්ටකුණ්ඩලී කියන පුතාටත් වෙච්ච සිද්ධිය සිදුවීම ඕකම තමයි. අතිශයින්ම ලෝභ තමන්ගෙ දෙමව්පියො ගැන ඒ වගේ සිතුවිලි එන්න ඇති. එයාට එයාගෙ ජීවිතය තුල දකින්න ලැබිල තිබුනේ, අහන්න ලැබිල තිබුනේ, හැමදාම ලෝබකමින් ඉන්න, නිරන්තරයෙන්ම මසුරුකම ගැන කතාබහ කරන, මසුරුකමෙන්ම යුක්ත වෙලා හිටපු ඒ පිරිසක් විතරයි. එයා කවම කවදාවත් දැකල තිබ්බෙත් නැහැ ඊට පරිබාහිර ලෝකයක්. ඊට පරිබාහිර ජීවිතයක්. ඊට පරිබාහිර කෙනෙක් මේ ලෝකෙ ඉන්නවාය කියල.
තථාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එක්තරා දවසක් පිණ්ඩපාතේ වඩිනවා මේ පුතා ඉන්න අඟුපිල පැත්තෙන්. අපි හිතමු මෙයාලගෙ ගෙදර පිටිපස්ස පැත්තෙ පැලක් තිබ්බ කියල. එහෙම වෙන්න පුළුවන්. අර තරහෙන් පුපුර පුපුර හිටපු, හිතේ අමනාපයම තියාගෙන මරණාසන්න භාවයට පත් වෙලා අච්චර මිලමුදල් තිබිච්ච වත්පොහොසත්කම් තිබිච්ච ගෙයින් එළියට දාපු, ගෙයින් දොට්ට දාපු, ඒ දරුවව බලන්න බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා ඒ පැත්තෙන්.
තමන්ගෙ ජීවිතේ කාරුණිකත්වය කියන දෙයක පුළුටක්වත් දැකපු නැති හෝ අහපු නැති, එවන් වූ ජීවිතයක් තියනවාද කියලවත් අදහසක්වත් නොතිබ්බ මේ දරුවට බොහොම ශාන්ත දාන්ත විදියට වැඩම කරන බුදුරජාණන් වහන්සේගේ රූපය පේන්න පටන් ගන්නව.
රත් වෙච්ච ගලකට වතුර දැම්මහම දුම් දාලා ඒ ගල සීතල වෙනව වගේ, රත් වෙච්ච බඳුනකට වතුර දැම්මහම ඒක විගහට සීතල වෙලා යනව වගේ, අර දරුවගෙ අමනාපයෙන් පිරිච්ච, දුකෙන් පිරිචචච චිත්ත සන්තානයට පේන්න පටන් ගන්නවා මසුරුකම කියන දේ හැම වෙලාවකම රජයන්නෙ නැති විදිහේ, කුරිරුබව කියන දේ හැම වෙලාවකම පවතින්නෙ නැති විදිහේ හෝ මසුරු බවක් නැත්තටම නැති කුරිරු බවක් නැත්තටම නැති, මහ පුදුමාකාර විදිහේ සංතෝසය සතුට ගන්වන විදිහේ රූපශ්‍රීයක් තියන පුද්ගලයෙක් එයා ඉන්න පැත්තෙන් වැඩම කරනව.
මේ සිද්ධිය දැකපු ඒ දරුවට හරි සහනයක් ඇවිල්ල තියනවා, හිතට හරි සංතෝසයක් ඇවිල්ල තියනවා, මට හිතා ගන්න බැරි වුනාට මේ ලෝකයේ සංතෝසයෙන් ඉන්න අය, හොඳින් ඉන්න අය ඉන්නවා කියලා දැන් මම දන්නවා කියල එයාටත් හිතෙන්න ඇති. ඔය සිතුවිල්ලෙන් ඒ දරුව මියෑදුනා. මියෑදිලා සුගති ලෝකයක උපදිනවා කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ.
දුකක හිටපු මේ දරුවව සුගතියකට ගෙනියන්න බුදුරජාණන් වහන්සේ වචනයක්වත් කතා කලේ නෑ. හැබැයි ක්‍රියාවක් විතරයි සිදු කලේ. පින්වතුනි අපිත් බුදුරජාණන් වහන්සේගේ අඩිපාරේ යන ශ්‍රාවකයො හැටියට සමහර අවස්ථාවල් තියනවා අපේ ජීවිතවල තියන වටිනාකම ඔප් නැංවෙන්න කතාබහ කරන්නම අවශ්‍ය වෙන්නෙ නැහැ ඇත්තම කියනව නම්. එක කාරුණික ක්‍රියාවක් ඇති.
ඒක හරියට ඔය ඇත්තො මේ දානය දෙන්න උත්සාහ කරනව වගේ දෙයක්. ඔය ඇත්තො බොහොම අමාරුවෙන් වෙහෙස මහන්සි වෙලා උපයා සපයා ගත්ත ධනයයි මේ විදියට පූජ කරන්නෙ. හැබැයි ඒ දේ තුලිනුයි අපේ දිවි රැකෙන්නෙ.
එනයින් කල්පනා කරනකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කියන උත්තමයා අපිට කියල දෙන මේ ධර්ම මාර්ගය තුල තියන කාරණාවල් පිළිපදින එක, පුරුදු කරන එක, වඩන එකම තමයි ඔබ අප සෑම සියළු දෙනාගේම ජීවිතවලට තියන එකම එක රැකවරණය, එකම එක නිදහස.
එවන් වූ ගමනක් යන්නට දිරිමත් වීමක් හැටියට අද දවසේදිත් මේ සිදු කරගත්ත කුසලය තුලින් ජනිත වෙච්ච පින, ඒ පින් සිතුවිල්ල මහානීය සිතුවිල්ලක්ම වේවා !
අද දවසේදී දන්මුරය බාර ගත්ත ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් ඒ කාරණාවට සහසම්බන්ධ වෙච්ච, අනේ හොඳයි කියපු කෙනෙක් ඉන්නව නම් ඒ ඇත්තො සෑම සියළු දෙනාටමත් මේ කටයුතු සම්පාදනය කරන ඔය ඇත්තො සෑම සියළු දෙනාටමත් ඒකාකාර වශයෙන් මේ පින් අනුමෝදන් වෙලා, සංසාරයේ දුකක් නැති අමා මහ නිවනෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියල ආශිර්වාද කරනවා.
ඒත් එක්කම ඔය ඇත්තන්ගෙ නමින් මිය පරලොව යන්නට යෙදුනු සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ පින් අපි බොහෝම සතුටු සිතින් අනුමෝදනා කරමු. ඒ ඇත්තන්ගෙත් සිත් සතන් නිවී සැනසිලා අමා නිවන සලසා ගන්න අද දවසේදීත් මේ විදියට සිදු කරගත්ත මේ කුසල් සිතුවිලි සමුදාය හේතු වාසනා උපකාර වේවා කියල අපි ආශිර්වාද ඇති කර ගනිමු.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
මේ පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ පස්යාල බෝලන්කන්ද තපෝ අරණේ ඉඳලා.
2023.12.01
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 03
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"චිරප්පවාසිං පුරිසං
දූරතො සොත්ථිමාගතං
ඤාතිමිත්තා සුහජ්ජා ච
අභිනන්දන්ති ආගතං තීති"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසෙ දෙවනි සෙනසුරාදා. මේ හිමිදිරි උදෑසන ඔය ඇත්තෝ බොහොම දාඩිය මහන්සියෙන් එක්රැස් කරගත්ත ධනය තුලින් ජනිත වෙච්ච දානය අපේ ආරණ්‍යයට වැඩම වුනා. ඒ පිළිබඳව කෙරෙන පුණ්‍යානුමෝදනාවයි මේ.
අපි ජීවත් වෙන කාලෙදි පින්වතුනි අපි විවිධාකාර ප්‍රදේශවලට ගමන් කරනවා. සමහරක් වෙලාවට අපි ඉන්න ප්‍රදේශය මාරු කරනව. සමහර වෙලාවට විවිධ විවිධ තැන් නරඹන්නටත් යනව.
ඒ කොහොම ගියත් අපි ආපහු අපි ඉන්න හෝ තාවකාලිකව හෝ අපිට උරුම වෙලා තියන ප්‍රදේශයට ආපහු එන්න වෙනව. එහෙම එනකොට අපි කොයි දේශ දීපංකරේ ගියත්, කොයි තැනකට වෙලා හිටියත්, ආපහු අපිට හුරු තැනට එනකොට අපි දන්න කියන ඇත්තෝ අපිව පිළිගැනීමට මඟ බලාගෙන ඉන්නව.
ඔය කියන ප්‍රායෝගික සිදුවීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සසඳනවා, සමාන කරනවා ඔය ඇත්තො සිදු කරගන්න කුසලයටත්.
දුර බැහැරක ගිහිල්ල ඉන්න කෙනෙක් ආපහු ගෙදරට එනකොට නෑදෑයො එයාව බලාගන්න හෝ පිළිගන්න සූදානමින් ඉන්නව වගේ, ඔය ඇත්තො ඔය ඇත්තන්ගෙ කුසල් සිත ප්‍රධාන කරගෙන සිදු කරන පින් කටයුතු, ඒ කියන්නේ සිල් සමාදන් වෙන ඒවා, දන් දෙන ඒවා, අනික් අයට උපස්ථාන කරන ඒවා, රැක බලාගන්න ඒවා, අඩුම වශයෙන් දෛනිකව මෛත්‍රී සහගතව හෝ කරුණාවන්තව කතා කරන වචනයක් පවා අපේ හිතට ලොකු නිදහසක්, සතුටක් ගෙනැල්ල දෙනව වගේම ඒ දේවල් අපේ චිත්ත සන්තානයට පුදුමාකාර නිදහසක්, සැහැල්ලුවක් ගෙනැල්ල දෙනව.
ඊටත් තථාගතයන් වහන්සේගේ මේ ගාථා රත්නයේ කියල දෙන කතාවේ තේරුම තමා, පින්දහම් කරන කෙනා මිය පරලොව ගියාට පස්සේ ඒ පින්දහම් වලට කැමති ඇත්තෝ ඒ කෙනාව බොහොමත්ම ගෞරවයෙන් බලාපොරොත්තුවෙන් ඉන්නව වගේ ඔය ඇත්තො කරපු පින්කම ඔය ඇත්තන්ට රැකවරණය පිණිස පවතිනවා, ආරක්ෂාව පිණිස පවතිනවා, නිදහස පිණිස පවතිනවා, සතුට පිණිස පවතිනවාය කියල.
ඉතින් අපිට මේ විදිහේ කුසල් දහම් කරන්නට, පින්දහම් කරන්නට නිරන්තරයෙන්ම හැකියාවකුත් නැහැ. අවස්ථාවකුත් නැහැ. අවධියකුත් නැහැ. සමහර වෙලාවට හැකියාවකුත් නැහැ. හැබැයි ඒ ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනයක් ගන්න උත්සාහවන්ත වෙනවා නම්, අපේ ජීවිතේ පිනෙන් පෝෂිත වෙච්ච ජීවිතයක් කරගන්න ඔබටත් මටත් පුළුවන්කම හම්බ වෙනව.
අන්න ඒ කටයුත්තටයි ඔය ඇත්තො මේ අතගහන්නෙ. මේ විදියට කටයුතු කාරණා සිද්ධ වෙන්නෙ. ඉතින් අද දවසේදිත් සිදු කරන්නට යෙදුනු මේ කුසලයන් අද දවසේ දන් වේල පිරිනමන ඒ පින්වත් පිරිසටත්, මේ කටයුත්තට සහසම්බන්ධ වෙච්ච "හා.. හොඳයි" කියල අනුමෝදන් වෙන සෑම සියළු දෙනාටත් ඔය ඇත්තන්ගෙ නමින් මියපරලොව යන්නට යෙදුනු සියළු මළගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් එක ලෙස අනුමෝදන් වේවා.
ඔය ඇත්තො සෑම සියළු දෙනාගේම ජීවිතවලට සියළු යහපත සැලසීම පිණිසම අද දවසේදිත් මේ සිදු කරගත්ත කුසලය මහානීය පින් සිතුවිල්ලක්ම වේවා කියල ආශිර්වාද කරනවා. සියළු යහපතම වේවා!
තෙරුවන් සරණයි !
පූජනීය පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
බෝලන්කන්ද තපෝ අරණ
පස්යාල
2023. 12. 02
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 04
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"යෙ ච ඛො සම්මදක්ඛාතෙ
ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්යං සුදුත්තරං"
ශ්රද්ධාවන්ත පින්වතුනි,
අද දෙදහස් විසි තුන අවුරුද්දේ දෙසැම්බර් මාසේ තුන් වෙනි ඉරිදා. ඔය ඇත්තො අද දවසෙදිත් තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත්ත ධනයෙන් සකස් කරගත්ත දානය සේනාසනයට වැඩම කරවන්නට කටයුතු සම්පාදනය කලා.
යම් තැනකින් එතෙර වෙනවා කියන එක කරන්න බොහොම අමාරු භාරදූර කාර්යයක්. හැබැයි අපි උත්සාහවන්ත වුනොත් ඒ දේ කරන්න ලේසි තැනක් අපිට හොයා ගන්නත් පුළුවන්.
උදාහරණයක් හැටියට අපි හිතමු ඔය ඇත්තෝ මහවැලි ගඟෙන් තරණය කරන්න කල්පනා කරනවා නම්, ඔය ඇත්තන්ට පුළුවන්කමක් තියනවා ත්රිකුණාමලේදිත් කරන්න. නමුත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ හරියෙදී ඒ දිය පාර චන්ඩයි. ප්‍රභලයි. වැඩියි. ගැඹුරුයි. භයානකයි.
හැබැයි මහවැලි ගඟේ ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ආවොත්, ඒ ඉහළේ අවසානයට කිට්ටු කරන තැන, අපි හිතමුකො අපි සිරීපාදෙට නැග්ග කියල. ඒ වගේ තැනකට කිට්ටු වුනොත් එහෙම එතනදිත් අපිට මහවැලි ගඟ හම්බ වෙනව ගඟක් තරමට නැති වුනාට.
හැබැයි තරණය කරන්න තියෙන්නෙ එක අඩියක් විතරයි. එතනදි චන්ඩ නැහැ, එතනදි ඒ දියපාර රළු නැහැ, දැඩි නැහැ, භයානක නැහැ, ගැඹුරු නැහැ, අමාරු නැහැ.
අපේ ජීවිතත් පින්වතුනි මෙන්න මේ විදිහේ දිශා ආනතියකට ගෙනියන එක තමයි නිවැරදි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි අපේ ජීවිතය තුල යමක් පහසුවෙන් ළඟා කරගන්න උත්සාහ කරනකොට, අපිට මුහුණ පාන්නට සිද්ධ වෙන භයානකකම, කරදර බාධක ප්‍රමාණය ඉතා අධිකයි.
හැබැයි අමාරුවෙන් හෝ ඒ දේ ලෙහෙසියෙන් සාක්ෂාත් කරගන්නට උත්සාහවන්ත වෙනකොට, අපේ ජීවිතේට ලැබෙන නිදහස, සහනය වගේම අත්දැකීම අතිමහත්. ඒක හරියට මහවැලි ගඟ තරණය කරන්න ත්‍රිකුණාමලයත් සිරීපාදයත් භාවිතා කරනව වගේ දෙයක්.
ධර්මයට පැමිණෙන ඇත්තෝ ධර්මය පුරුදු කරන්න පටන් ගන්නකොට ඒ පුරුදු කරන ධර්මය ඒ ඇත්තෝ තමන්ගේ ජීවිතයට ගලපගන්න උත්සාහවන්ත වෙනවා, ලේසි පාරවල්වලින් නෙවෙයි දීර්ඝ කාලීනව කාලයක් තිස්සේ පුරුදු කරලා.
හරියට සිහිය පුරුදු කරනවා වගේ වැඩක් මේක. තමන්ගේ ජීවිතේ පවත්වන, නිරන්තරයෙන්ම පුරුදු කරවන හෝ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කරවන එක කාරණාවකට සිහිය තියාගෙන, ඒ කාරණාව නැවත නැවත නැවත නැවත වඩන්න හදනව.
අන්න එතකොට ඉගෙන ගන්න පටන් ගන්නවා මේ ධර්මය භාවිතා කරල සසර දුකෙන් එතෙර වෙන්න ක්‍රමය මොකද්ද? විදිහ මොකක්ද? අවධිය මොකක්ද? කියල. හැබැයි ඊට වඩා කෙටි ක්‍රම හොයාගෙන යන්න වුනොත් එහෙම, තමන්ගේ ජීවිතේ බොහොම භයානක තැන්වලට අත්විඳන්නත් හෝ මුහුණ පාන්නටත් සිද්ධ වෙනව. මෙන්න මේ කාරණාවයි දහම්පදයේ අපිට ඔය කියල දෙන්නේ,
"යෙ ච ඛො සම්මදක්ඛාතෙ
ධම්මෙ ධම්මානුවත්තිනො
තෙ ජනා පාරමෙස්සන්ති
මච්චුධෙය්යං සුදුත්තරං" කියල.
සසරෙන් එතෙර වෙනව කියන එක ටිකක් අමාරුයි කරන්න. හැබැයි බැරි නෑ. අපි හොයාගන්න පටන් ගන්න ඕන අපිට කරන්න පුළුවන්ම ප්‍රමාණය සහ පුළුවන්ම අවධිය මොකක්ද කියන එකයි.
ලද හැම අවස්ථාවකදීම සීල සමාදානය, ධර්ම ශ්‍රවණය, බණ භාවනා කරන එක වගේම දන් දෙන එක ඉතාමත්ම වැදගත් කාරණාවක්.
ඉතින් මෙන්න මේ කියන කාරණාවයි අද දවසේදී ඔය ඇත්තො සිදු කරගන්න යෙදුනෙ. තමන්ගේ දාඩිය මහන්සියෙන් උපයා සපයා ගත්ත ධනයෙන් මේ පූජ කරන්න යෙදුනෙ.
ඒ තුලින් ඒ ඇති වෙච්ච සියළුම කුසලය ඔය ඇත්තන්ගෙ මෙලෝ යහපත පිණිසම හේතු වාසනා වේවා ! පරලොව යහපත පිණිසම හේතු වාසනා වේවා ! අමා නිවන සාක්ෂාත් කරගන්න මේ පින ඒකාකාර වශයෙන්ම උපනිශ්‍රය වේවා ! කියල ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
පස්යාල බෝලන්කන්ද තපෝ අරණ
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
පුණ්‍යානුමෝදනාව 05
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි
"තේසං සම්පන්න සීලානං
අප්පමාද විහාරිනං
සම්මදඤ්ඤා විමුත්තානං
මාරෝ මග්ගං න වින්දති තීති"
සැදැහැවත් පින්වතුනි,
අද ව්‍යවහාරික දෙදහස් විසිතුන වර්ෂයේ දෙසැම්බර් මාසේ හතරවෙනි සඳුදා. වැහිබර කාළගුණයක් තිබුනත් අද දවසේදීත් උදෑසන හතයි තිහේ කණිසම වෙනකොට බෝලන්කන්ද තපෝ අරණේ දානය වැඩමවීම සිදු වුනා.
'වැඩමවීම' කියන වචනය බොහොම ගෞරවාන්විත වචනයක් වගේම 'බැහැරවීම" කියන වචනයත් කරන්නට බොහොම භාරදූර දෙයක්.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සද්ධර්මයෙහි එක තැනකින් ගැටළුවක් තියනවා පින්වතුනි. එක්කෙනෙක් ඇවිල්ල අහනවා මේ සද්ධර්මයම එක වචනයකින් කියන්න පුළුවන් නම් ඒ වචනය මොකද්ද? කියල.
ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි අප්‍රමාදය කියල. අපේ ජීවිතය තුල වඩා වර්ධනය කරගත යුතු, වැඩිදියුණු කරගත යුතු ප්‍රධානම ගුණාංගය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අප්රමාදී බවයි.
සිල් රකින්නට, බණ භාවනා කරන්නට, ධර්ම ශ්‍රවණය කරන්නට, කුසලයෙහි හැසිරෙන්නට, සිත කය වචනය කියන තුන්දොර සංවර කරගන්නට, ඇහැට දකින රූප, කනට අහන ශබ්ද, නාසයට දැනගන්න ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ වගේම හිතට දැනෙන අරමුණු, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියල සතර බ්‍රහ්ම විහරණ ආශ්රයෙන් සිදු කරන්නට, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥ්ඥාණ කියල කියන පංචස්කන්ධය උපාදානයක් කරගන්නෙ නැතුව ජීවත් වෙන්නට, ඉගෙන ගන්න මේ සරල ක්රමයේ ඉඳලා ගැඹුරාර්ථය දක්වා යන ඒ වැඩපිළිවෙල දක්වා වෙන හෝ ඒ වැඩපිළිවෙල සිදු කරගන්නට භාවිතා කළ යුතු ප්‍රධානම ගුණාංගය තමයි, මෙවලම තමයි අප්‍රමාදීත්වය.
මේ කියන ගුණාංගය අපේ ජීවිතය තුල ඇති කරගන්නකොට, වැඩිදියුණු කරගන්නකොට, සංසාරය කියල කියන මහා ඕඝයෙන් නිදහස් වෙන්නට, ඒ ගැඹුරු ප්‍රපාතයෙන් නිදහස් වෙන්නට, ඔබටත් මටත් හැකියාව ලැබෙනව. ඒ වෙනුවෙන් පින්වතුනි අපිට සිදු කරන්නට වෙන, මිඩංගු කරන්නට වෙන දේ හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදීත්වය.
අපි සිහියේ තබා ගන්න ඕන, මතකයේ තබා ගන්න ඕන, අසවල් අසවල් වෙලාවල් වලදී මම ප්‍රමාදයට වැටෙනවා, අසවල් අසවල් වෙලාවල්වලදී මම අප්‍රමාදීව සිටිනව කියල. ඒ අනුව අපි සළකන්න වුනාම, හිතන්න වුනාම, තේරුම් ගන්න වුනාම, ආපස්සට ආවර්ජනය කරන්න මෙනෙහි කරන්න වුනාම, අපි මෙතෙක් ආපු ගමන තුල ධර්මානුකූලව ඒ කටයුතු විසඳාගෙන තියන, නිවනට නැමෙන සුළුව කටයුතු කරල තියන ප්‍රමාණය සහ නැති ප්‍රමාණය හොඳට තේරෙනව.
මෙන්න මේ ආකාරයට තමයි පින්වතුනි ධර්මය විසින් අපිව ආරක්ෂා කරල දෙන්නෙ. ධර්මය විසින් අපිව රැකල දෙන්නෙ. ඉතින් ඒ රැකවරණයට යන, ඒ රැකවරණය ඒ විදියටම සැලසෙන හෝ සලසවාගන්න ඇත්තො හැටියට ඔය ඇත්තො අද දවසේදිත් උත්සාහ කරන්නට යෙදුනා, තමන්ගේ ධාර්මික ධනය විය පැහැදම් කරලා බොහෝම ගෞරවයෙන් යුක්තව පූජා කරලා දානයක් සලසා දෙන්නට.
ආරණ්‍යය හාමුදුරු කෙනෙක් හැටියට දවසට එක වේලක් වළඳන්න පුරුදු වෙලා ඉන්න අපිට, ඔය ඇත්තො මේ සලසන දානයෙන් තමයි ඒ දන්වේල සැලසෙන්නෙ. ඒ තුලින් තමයි අපිට පහසුව සැලසෙන්නේ. අපේ ශරීරයට සුවතාවය සැලසෙන්න. මේක එතකොට පුද්ගලිකව දෙන දේකටත් වඩා ඔය ඇත්තො සිත්හි දරාගන්න ඕන සංඝ රත්නය උදෙසා කරන පොදුවේ ඒ ගුණ තියන සංඝ රත්නය උදෙසා සිදු කරන පින්කමක් හැටියට.
ඉතින් එහෙම සලසා ගන්න ගමන්, එහෙම සිත්හි දරාගන්න ගමන් අද දවසේදිත් මේ සිදු කරගත්ත කුසලය තුළින් ජනිත වෙච්ච සියළුම පින් සිතුවිලි සමුදාය, ඔය ඇත්තන්ගේ මෙලොව ජීවිතය යහපත් කරගන්නටත්, පරලොව ජීවිතය යහපත් කරගන්නටත්, නමින් මිය පරලොව ගිය සියළු මළගිය ඥාති හිතමිත්රාදීන්ගේ සාංසාරික ජීවිත සුඛිත මුදිත භාවයට පත් වෙන්නටත්, තුනුරුවන්ගේ ආශිර්වාදයම වේවා ! සියළු ආරක්ෂාවම වේවා !
ඒ වගේම මේ පින්කමට සහසම්බන්ධ වෙච්ච, උදව් උපකාර කරපු, ඒ සෑම සියළු දෙනාටමත්, මේ පිනෙන් ජනිත වේචච කුසලය ඔය ඇත්තො සෑම සියළු දෙනාගේම ජීවිතවලට සියළු යහපත සැලසීම පිණිසම, අමා නිවන පිණිසම හේතු වාසනා උපකාර වේවා කියල ආශිර්වාද කරනවා.
සියළු දෙනාටම තෙරුවන් සරණයි !
පදියතලාවේ මේධාවි ස්වාමීන් වහන්සේ
බොලන්කන්ද තපෝ අරණ පස්යාල
පිටපත සකස්කල වෛද්‍ය සමිත රත්නායක මහත්මාට ගෞරවනීය පුණ්යාණුමෝදනාව සිදු කරමි.🙏🙏🙏
සිහිවටන